August 8, 2020

SinhalaVlog

Just another WordPress site

වැඩිම ලාභ ලබන අඩුම දුර යන බසයේ – හිඟන අඳෝනා

මීට වසර තුනකට ඉහත ඉන්දියා​වේ මයිසූර්හි පන්සලකින් හිඟන්නියක් ගැන අපූරු ප්‍රවෘත්තියක් වාර්තා විය. ඇය අසූ හැවිරිදි හිඟන කාන්තාවකි. ඇය හිඟමන් යදින්නේත් මේ කියන පන්සල ඉදිරිපිටමය. මේ හිඟන්නිය පන්සලට තමන් හිඟා කන මුදලින් පරිත්‍යාගයක් කළාය. ඉන්දියානු රුපියලෙන් කළ එම පරිත්‍යාගය ලංකාවේ මුදලින් නම් රුපියල් ලක්ෂ පහකටත් වැඩිය. කලින් කී ඉන්දියාවේ සිදුවීමට ආසන්න සිදුවීමක් ලංකාවේ වාර්තා වන්නේ 2020 වසර ආරම්භ වනවාත් සමග රාගම ප්‍රදේශයෙනි. එහෙත් ඒ හිඟන කාන්තාව ප්‍රසිද්ධ වූයේ තමන් හිඟා කෑ මුදලක් පන්සලකට දීම නිසා නොව, ඇය සතුව හංගාගෙන තිබුණ මුදල් කන්දරාව නිසාය. රාගම දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගත් කාන්තාව සතුව රුපියල් 5000 නෝට්ටු 35ක්, රුපියල් 1000 නෝට්ටු 38ක් ඇතුළු රුපියල් 100, 50, 20 නෝට්ටුවල එකතුව රුපියල් 212,200කට වැඩිය. ලංකාවේ අඩුම ආයෝජනයකින් වැඩිම මුදල උපයාගත හැකි වෘත්තිය ලෙස මෙතෙක් වාර්තා වූයේ නීතිඥ වෘත්තියයි. නීති ප්‍රවේශය සමත් වී නීති විද්‍යාලයේ ඉගෙනුම ලබා නීතිඥයකු වන තුරු කරන ආයෝජනය පසුදා සිටම ප්‍රතිලාභ වශයෙන් ලබාගත හැක්කේ නීතිඥ ගාස්තුව ලෙසය. වින්දිතයාට ඇත්තේ රථවාහන නඩුවක් නම් වගඋත්තරකාරයා චෝදනාව කියවා කූඩුවට නගින්නටත් පෙර ‘වරද පිළිගනිමි ස්වාමීනි, සුදුසු දඩයක් නියම කරන මෙන් අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි’ යන වාක්‍යය ගිරවකු මෙන් කියාගෙන යාම පමණකි.

ලංකාවේ හිඟන වෘත්තිය ගත් කල දැන් සියලු වෘත්තීන් පෙරළාගෙන පෙරට එන්නේ එය කිනම් වෘත්තියක් තරම්වත් මුදල් ආයෝජනයක් කරන්නට නොමැති වීම නිසාය. හිඟා කෑම පුරුදු වීමට පන්ති යාමට අවශ්‍ය නැත, ටයිකෝට් ඇඳිය යුතු නැත. එමෙන්ම කිසිම විසිටින් කාඩ් එකක්, කඩ කුලියක්, ලයිට් බිලක්, වතුර බිලක් ගෙවීමට හිඟන වෘත්තියේ සිදු නොවන නිසා එය පූර්ණ ලාභදායී ව්‍යාපාරයක් ලෙස නිර්වචනය කළ හැකිය. ලංකාවේ හිඟන්නන් ගැන නිසි සංගණනයක් කෙරී නැතත් ලබන අවුරුද්දේ නව ක්‍රමවේදයකට පැවැත්වෙන සංගණනයේදීවත් ලංකාවේ හිඟන්නන් කොපමණ ඇත්දැයි සංඛ්‍යාත්මකව බැලීම හිඟන වැඩක් නොවනු ඇත. ලංකාවේ දුගී දුප්පත් උදවියට සහන මිලට බඩු ගැනීමට ඉලෙක්ට්‍රොනික් කාඩ්පතක් ලබාදෙන බව ජනාධිපතිවරයා පැවසුවේ පසුගිය බදාදාය. එම ක්‍රමය නිසි ලෙස ක්‍රියාවට නැගුවහොත් ලංකාවේ හිඟන්නන් ඉබේම අපේ ජන සමාජයෙන් චුත වනු නියතය. මීට කලකට ඉහත පොලිස් අත්අඩංගුවට ගත් හිඟන්නකු ළඟ තිබූ බැංකු පොතේ වූ මුදල ලක්ෂ 48කි. හිඟන්නා පැවසුවේ තවත් ලක්ෂ 2ක් හිඟා කා සොයාගෙන ලක්ෂ 50ක් එකතු වූ පසු තමන් සිතාගෙන සිටියේ කඩයක් දැමීමට බවය. ලංකාවේ පාර්ලිමේන්තුවේ වැඩිම අයවැය ගණනක් ඉදිරිපත් කළ පුද්ගලයා මුදල් ඇමැති රොනී ද මැල්ය. අයවැයට පෙර රට රටවල ආධාර එකතු කරන්නට යන රොනී ‘ඇත්ත’ කාටුන් ශිල්පී යුනුස් අඳින්නේ අහස් යාත්‍රාවට යන හිඟන්නකු ලෙසය. කාටූනය දෙකට බෙදා ඇති අතර අනෙක් කොටසේ ඇත්තේ විදේශ ආධාර රැගෙන ටයිකෝට් ඇඳ ජැන්ඩියට එන රොනී ද මැල්ය.

පසුගියදා මෙරට දුම්රිය තුළ හිඟාකෑම තහනම් කරන ලදී. ඒ සමගම දැන් දුම්රියේ හිඟා කන පිරිසද ගොඩවන්නේ බස් රථවලටය. බොරැල්ලේ සිට කොට්ටාවට ගියත්, කිරිබත්ගොඩ සිට අඟුලානට ගියත්, රාජගිරියේ සිට හෙට්ටියාවත්තට ගියත් දැන් බස් රථයට මග දිගේ නගින හිඟන්නන් ගණන දුසිමකට වැඩිය. එයින් සමහරු මූත්‍රා බට දමාගෙන මූත්‍රා බෑග් එක එක් අතකින් අල්ලාගෙන, අනික් අතින් සිඟමන් යදිති. තවත් අය අලුත උපන් දරුවාට හිඟා කා කිරි අම්මා දානයක් දීමට බාර වූ බව කියා හිඟා කති. තවත් අය බලන්නට අප්‍රසන්න බරවා කකුල පෙන්වමින් ඕජස් ගලන කකුල දණගාමින් සිඟමන් යදිති. විරිදු කියන්නන්, ඩොල්කියට ගසමින් සින්දු කියන්නන් හා පොත් 5 රුපියල් 100ට දෙන උදවියද හිඟන්නන් ගොඩටම දානවාදැයි සොයා බැලිය යුතු වැදගත් කරුණකි. ලංකාවේ අඩුම දුරක් දුවන වැඩිම ලාභ ලබන බස් සේවය ලෙස බොහෝ දෙනා සලකන්නේ 103 බොරැල්ල-කොටුව බස් සේවයයි. මෙම බස් රථයේ කඩන්නේ රුපියල් 12 සහ රුපියල් 15 ටිකට් පමණි. ගමනාන්තයටම ඇත්තේ සෙක්ෂන් දෙකකි. එල්ෆිනිස්ටන් රඟහල ළඟ බස් නැවතුමේ නවත්වන විටම වෙනදා කොන්දොස්තර මෙවැනි නිවේදනයක් නිකුත් කරන්නේ කටපාඩම් කර ගත් ලෙසටය. ‘‘ආ, ඉස්සරහා හෝල්ට් එකේදි කවුරුත් තමන්ගේ පර්ස් පරිස්සම් කරගන්න.’’ එම නිවේදනයෙන් නොකියා කියන්නේ ඉස්සරහා බස් නැවතුමෙන් හිඟන්නන් නගින බව නොව, පික්පොකට්කාරයන් නගින බවය. එහෙත් පසුගිය දාක එතැනින් යන විට එවැනි නිවේදනයක් නිකුත් නොවූ බැවින් පිටකොටුව බෝගහ හන්දියෙන් බහින විට කොන්දොස්තර කොලුවාගෙන් ඒ ගැන විමසීමි. ‘‘පිස්සුද අයියේ, අපි දැන් ඕවා කියන්න යන්නේ නැහැ. උන් දෙතුන් දෙනා නගින්නේ. ඕක කිව්වම පොකට් එකක් ගහගන්න බැරිවුණොත් දැළි පිහි පාරක් ඇදගෙන බහින්නේ. විනාඩි ගාණකින් ලේ එනකොට උන් බැහැලා ගිහිල්ලත් ඉවරයි.’’

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය 2015 සිංහල අවුරුද්දට කලින් වැඩ ඇල්ලුවේ බස් රථවල හිඟන්නන් ගැන පැමිණිලි ඉදිරිපත් කරන්නට ටෙලිෆෝන් අංකයක් ප්‍රකාශයට පත් කරමිනි. එහි අංක 0112871352 විය. වසර පහකට පසු මේ බස් රථවල හිඟන වදයෙන් බේරීමට පිහිටක් පතන්නට ඉහත අංකයට කතා කළෙමි. එම අංකයෙන් පැවසුවේ අංක 0112860860 අංකයට අමතන ලෙසය. තමන් බස් රථ ගැන පැමිණිලි භාරගත්තත් හිඟන්නන් ගැන පැමිණිලි භාර නොගන්නා බව කියූ ඇමැතුම ගත් යුවතිය ඒ ගැන පොලිසියට දැනුම් දෙන ලෙස දන්වා සිටියාය. බස් රථවල හිඟා කෑම තහනම් කොට ආණ්ඩුව මගින් නිවේදනයක් නිකුත් කොට ඇත්දැයි ඇසූ විට ඇය අසල උන් හතර පස්දෙනෙක් ගෙන්වා අසා එහෙම නිවේදනයක් නිකුත් කොට නැති බව කියා ‘දඩස්’ ගා ටෙලිෆෝනය තැබුවේ නියම රාජ්‍ය සේවකයකුගේ ස්වභාවය තහවුරු කරමිනි. පොදුවේ ගත් කල පෙනී යන්නේ විසඳුමක් සෙවිය යුත්තේ බස් රථවල හිඟාකන සිඟන්නන් ගැන පමණක් නොව, සමස්ත හිඟන ප්‍රජාවම ගැනය. මීට වසර ගණනාවකට පෙර පුවත්පත් වාර්තාවක පළවුණේ හිඟන්නකු අල්ලා අධිකරණයට ඉදිරිපත් කළ පොලිසියකට ඇතිවූ ඉරණම ගැනය. අධිකරණයේ විත්ති කූඩුවට නැග්ග හිඟන්නා නීතිඥයකු නැතිවම තනිව නඩුවට පෙනී සිටිමින් නඩුකාරයාගෙන් අසා සිටියේ තමන් හිඟන්නකු ලෙස හෝ යාචකයකු ලෙස වර්ගීකරණයට ලක්කර නීතිමය නිර්වචනය පැහැදිලි කර දෙන ලෙසය. පොලිසියට කටඋත්තර නැති තැන නඩුකාරයා කරන ලද්දේ නඩුවට දීර්ඝ දිනයක් නියම කොට නඩුව යටපත් කිරීමය.

පොදුවේ ගත් කල අද පිටකොටුවේ සිට ගමන් ආරම්භයට නවත්වා ඇති බස් රථවලට නගින හිඟන්නන්ගේ අඳෝනා බස් මගීන්ට මහා කරදරයක් වී ඇත. එමෙන්ම දිවයිනේ ඕනෑම බස් රූට් එකක දැන් දැන් හිඟන්නන්ගෙන් බේරී ගමන් කිරීම අපහසු කටයුත්තක් වී තිබේ. බස් රථවල කොත්තු රොටී සංගීත බජව් සංගීතය තහනම් කොට සුභාවිත ගීත ශ්‍රවණයට බස් රථවල අවස්ථාව සලසා ඇති මේ වකවානුවේ අසන්නට ලැබෙන්නේ ඇත්තටම සුභාවිත ගීත නොව, ‘හිඟන අඳෝනා’ බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ.