October 31, 2020

SinhalaVlog

Just another WordPress site

නව යොවුන් වියේදී දරු ගැබක් දැරීම සුදුසුද?

ආදරණීයත්වයේ උල්පත වූ මාතෘත්වය යනු ඔබත් මමත් හිඳිනා මේ විශ්වය තුළ ලැබිය හැකි ඉහළම සම්පතයි. එහෙත් නිසි වයසට එළඹීමට මත්තෙන් නව යොවුන් වියෙහිදී ගැබ් ගැනීමකට ලක්වන්නේ නම් එය මහත් ඛේදවාචකයකි. ඒ නව යොවුන් මාතෘත්වය හා අහිතකර සෞඛ්‍ය අවදානම් රැසක් සම්බන්ධ වී පැවතීම හේතුවෙනි. එනම් මෙහිදී මවට පමණක් නොව ළපටි කිරිකැටියාට ද මව් කුස තුළ සිටියදී මෙන්ම බිහිවීමෙන් අනතුරුව ද විශාල මානසික, ශාරීරික හා සාමාජීය ගැටලූ රැුසකට මුහුණදීමට සිදුවෙයි. එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික හදිසි ළමා අරමුදල (UNICEF) මඟින් සිදුකර ඇති අර්ථ දැක්වීමට අනුව වයස අවුරුදු 13 – 19 ත් අතර පසුවන ගැහැණු දරුවෝ නව යොවුන් වියට අයත් වෙති. ශ‍්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය මඟින් ඉදිරිපත් කර ඇති සංඛ්‍යා දත්තවලට අනුව 2018 වර්ෂයේදී ලියාපදිංචි වී ඇති යොවුන් ගැබිණි මවුවරුන්ගේ ප‍්‍රතිශතය 4.4% කි. මෙම ප‍්‍රතිශතය සඳහා නීත්‍යානුකූලව විවාහ වූවන් හා නීත්‍යානුකූලව විවාහ නොවී එකට සිටින්නන් ද අයත්ය. මෙලෙස නව යොවුන් මව්වරුන් ඇතිවීමට ප‍්‍රධාන වශයෙන් බලපා ඇති හේතුව වී ඇත්තේ අයහපත් පවුල් පසුබිමයි. මෙවන් බොහෝ ගැබ් ගැනීම් සැලසුම් සහගත නොවන අතර නිසි දැනුමක් නොමැතිකමත්, නිවැරදි පවුල් සැලසුම් ක‍්‍රම අනුගමනය නොකිරීමත් (වයස අවුරුදු 18 – 19 ත් අතර වියේ පසුවන විවාහ වී සිටින ගැහැණු දරුවන්) හේතුවෙන් නව යොවුන් ගැබ් ගැනීම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. තවද මවුපියන් විරසක වීම, මවුපියන් වෙන් වී වාසය කිරීම, දරිද්‍රතාව, ලිංගික අපචාරයන්ට ගොදුරු වීම, මත්පැන් හා මත්ද්‍රව්‍යයන්ට ගොදුරු වීම සහ අඩු වයසින් විවාහ ජීවිතයට ඇතුළත් වීම වැනි කරුණු ද මේ අතර වෙයි.

මෙහිදී ඇතිවන ප‍්‍රධානතම සමාජ විද්‍යාත්මක ගැටලූව වන්නේ දරුවකු විසින් තවත් දරුවකු දරා සිටීමයි. ගැහැණු දරුවකු වැඩිවියට පත් වූ පමණින් ඇයගේ ශරීරය දරු ගැබක් දරා සිටීමට තරම් වර්ධනය නොවේ. මේ නිසා නිරන්තරයෙන් ඇතිවන ශාරීරික සංකූලතා රැුසකට මුහුණදීමට ඇයට සිදුවෙයි. එමෙන්ම තවත් අතිශය දුෂ්කර කාර්යයක් වනුයේ සමාජය තුළින් එල්ලවන පීඩාවන් හේතුවෙන් ඇතිවන මානසික පීඩාවන්ට ද ඇයට මුහුණ දීමට සිදුවීමයි. වෛi විද්‍යාත්මක සංකූලතාවන් අතර රක්තහීනතාව, අධි රුධිර පීඩනය, විශාදය සහ පෝෂණ ඌණතා ප‍්‍රධාන තැනක් ගනියි. පෝෂණ තත්ත්වය මෙහිදී අතිශය තීරණාත්මක සාධකයක් විය හැක්කේ කලල බන්ධයේ හා මව් කුස තුළ වැඩෙන කලලයේ සමස්ත වර්ධනයම මවගේ පෝෂණ තත්ත්වය මත තීරණය වීමයි. නව යොවුන් මව්වරුන්ගේ කැල්සියම්, යකඩ, සින්ක්, විටමින් බී 2 සහ ෆෝලේට් අයන පරිභෝජනය වැඩිහිටි මව්වරුන්ට සාපේක්‍ෂව ඉතා පහළ අගයක පවතී. තවද මෙවන් යුවතියන් ගර්භනීත්වයට ප‍්‍රථම ලබාගත යුතු පෝෂණ අතිරේක (ෆෝලේට් වැනි) ලබා ගැනීමේ ප‍්‍රවණතාව ද ඉතා අඩුය. මේ නිසා ඔවුන් ගර්භනීත්වයට ඇතුළත් වනුයේ ද යම් යම් පෝෂණ ඌණතාවන් සහිතවය. මෙවන් හේතූන් නිසා රක්තහීනතාව නව යොවුන් මව්වරුන් අතර බහුල වන අතර මේ සඳහා ප‍්‍රධාන වශයෙන් යකඩ ඌණතාව, විටමින් බී 12 ඌණතාව සහ ෆෝලික් අම්ල ඌණතාව ද බලපායි. නව යොවුන් ගැහැණු දරුවන්ගේ ශාරීරික වර්ධනය මොවුන් මල්වර වීමෙන් පසුව අවුරුදු හතරක පමණ කාලයක් දක්වාම සිදුවෙයි. මෙම වර්ධණය වයස අවුරුදු 13 – 15 අතර සීමාවේදී උච්චතම වෙයි. ගර්භනීයත්වයේදී කලලයේ ප‍්‍රශස්ත වර්ධනයක් සඳහා අවශ්‍ය ශක්ති අවශ්‍යතාව ද වැඩිවෙයි. යොවුන් මව්වරුන්ට, ඔවුනුත් වර්ධනය වෙමින් පවතින නිසා කලලයේ වර්ධණය සඳහා අවශ්‍ය ශක්තිය සහ පෝෂණය නිසි පරිදි ලබාදීමට අපහසු වෙයි. මෙය කලලයේ වර්ධනය කෙරෙහි අහිතකර බලපෑම් රැුසක් ඇතිකරයි.

ගර්භනී සමයේ අධි රුධිර පීඩන තත්ත්වයන් පැවතීම නිසාවෙන් මවට මෙන්ම මව තුළ වර්ධනය වන කලලයට ද අහිතකර බලපෑම් ඇතිවිය හැකිය. මේ තුළින් වකුගඩු වැනි ප‍්‍රධාන ශරීර අවයවයන්ගේ නිසි ක‍්‍රියාකාරීත්වයට අහිතකර බලපෑම් ඇතිවෙයි. තවද මේ නිසා අඩුබර සහිත නොමේරූ දරු උපත් ඇතිවීම ද සිදුවිය හැකිය. විශාලම ගැටලූව නම් මෙම ඍණාත්මක බලපෑම් අලූත උපන් දරුවාගේ සමස්ත වර්ධනය කෙරෙහි ද බලපෑමයි. මෙවන් අඩු බරක් සහිතව උපදින දරුවන් පසුකාලීනව හෘද රෝග සහ දියවැඩියාව යන තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානම ඉතා ඉහළය. මව තුළින් නිසි පෝෂණයක් නොලැබීම හේතුවෙන් ළදරුවාගේ මානසික හා ශාරීරික වර්ධනය මේ නිසා සම්පූර්ණයෙන්ම පාහේ නොවූවත් යම්කිසි මට්ටමකට අඩාල විය හැකිය. වෛi විද්‍යාත්මක සොයාගැනීම්වලට අනුව මේ හා සම්බන්ධ ප‍්‍රධානතම අවදානමක් වනුයේ වැඩිහිටි මව්වරුන්ට සාපේක්‍ෂව මෙවන් නව යොවුන් මව්වරුන්ට ගබ්සා වීම්, මළ දරු උපත් ඇතිවීම හා මාතෘ මරණ සිදුවීමේ හැකියාව ඉහළ මට්ටමක පැවතීමයි. මෙවන් යුවතියන්ගේ ගබ්සාවීමේ අවදානම ඉතා ඉහළ අගයක් වනුයේ ස්වභාවිකව ගබ්සාවක් සිදු නොවුණ ද ඔවුන් ගබ්සාවක් සිදුකරවා ගැනීමට පෙළඹීමේ ප‍්‍රවණතාව ඉතා ඉහළ අගයක පැවතීමයි. අවාසනාවන්තම තත්ත්වය නම් මෙවන් හේතූන් නිසා මාතෘ මරණ සිදුවීමේ අවදානම ද ඉහළ අගයක පැවතීමයි. සංවර්ධනය වෙමින් පවතින රටවල වයස අවුරුදු 15 ත් 19 ත් අතර පසුවන ගැහැණු දරුවන්ගේ මාතෘ මරණ සඳහා ප‍්‍රධාන හේතූන් ලෙස දරු ප‍්‍රසූතියෙන් පසු අධික ලෙස රුධිර වහනයවීම postpartum hemorrhage (යකඩ ඌණතා රක්තහීනතාව නිසා සිදුවේ) හෝ අවහිරකාරී ප‍්‍රසූත තත්ත්වයන් ඇතිවීම obstructive labor දැක්විය හැකිය.

මෙම සියලූ කරුණු සලකා බැලූ විට නව යොවුන් වියට ගර්භනීත්වය සුදුසු නොවේ යන්න සඳහන් කළ හැකිය. එබැවින් නව යොවුන් වියේ පසුවන ගැහැණු දරුවන් සිටින දෙමවුපියන් ඔවුන් කෙරෙහි ඉතා හොඳ අවධානයකින් පසුවිය යුතු අතර ඔවුනට ලැබිය යුතු සැබෑ ආදරය, අධ්‍යාපනය, ආරක්‍ෂාව සහ විශේෂයෙන් ජීවිතාවබෝධය ලබාදීමට සැලකිලිමත් වීම තුළින් මෙම අවාසනාවන්ත තත්ත්වයට ශ‍්‍රී ලාංකේය නව යොවුන් වියේ පසුවන යුවතියන් මුහුණදීම වළක්වා ගත හැකිවනු ඇත.