October 31, 2020

SinhalaVlog

Just another WordPress site

මට අද තියෙන ජනප්‍රිත්වය හෙට නැති වෙන්න පුළුවන් – නෙහාරා පීරීස්

දඟකාර හැඩකාර ඇයට බොහෝ දෙනෙකුගේ ආදරය හිමිව තිබේ. ඇය දක්ෂ රංගන ශිල්පිණියක් වගේම දක්ෂ නර්තන ශිල්පිණියකු බවත් බොහෝ දෙනා දන්නා කරණාවක්. කාලයක් ජනප්‍රියත්වයේ ඉහළින්ම රැඳී සිටි නෙහාරා පීරීස් නැවතත් ටෙලි නිර්මාණයක් ඔස්සේ දැක බලා ගැනීමට හැකියාව තිබේ. ඒ ‘හේලී’ ටෙලි නාට්‍යය ඔස්සේය. ඒ පිළිබඳව සහ ඇයගේ කලා කටයුතු පිළිබඳව කතා බහ කිරීමට ‘සාරවිට’ තරු කතාබහට ඇයව මෙලෙස එක් කර ගනු ලැබීය. 1.මුලින්ම කියමු මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල මම රංගනයෙන් දායක වන ‘හේලි’ ටෙලි නාට්‍යය විකාශය වෙනවා. ඒකේ අවසාන කොටස් ටික රූප ගත කෙරෙනවා. ඊට අමතරව මම මේ මාසේ ‘නෙහාරා ඩාන්ස් ස්ටූඩියෝ’ කියලා ස්ටූඩියෝ එකක් විවෘත කරනවා. ඒවත් එක්ක තමයි මේ දවස්වල වැඩකටයුතු සිද්ධ වෙන්නේ. 2.පසුගිය කාලයේ නිර්මාණය වලින් ඈත් වුණාද? ඇත්තටම නිර්මාණ වලට දායක වෙන්න ලැබුණේ නැහැ. මොකද මම අවුරුදු තුනක් විතර විදෙස් ගත වෙලා තමයි හිටියේ. දැන් ආයේ ලංකාවට ඇවිත් හෙමින් හෙමින් වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නවා.

3.අවුරුදු තුනකට පස්සේ තමයි ක්ෂේත්‍රයේ වැඩකටයුතු වලට දායක වෙන්නේ, වෙනස් දකිනවාද?  පහුගිය අවුරුදු තුන ඇතුලත ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. අලුත් මුහුණු ඇවිත් ඉන්නවා. අලුත් දක්ෂතා තියෙන අය ඉන්නවා. එහෙම වෙන්න ඕනේ. හැමදාම එකම කට්ටිය වැඩකරනවාට වඩා ඒ අලුත් ජවය අලුත් මුහුණු එන්න ඕනේ. හැබැයි මම දෙයක් දකිනවා. දූ දරුවෝ, සෙනේවන්තයෝ වගේ අපේ පරපුරේ මුතු කිරිල්ලී, රුවන් මාලිගා, අමන්දා වගේ නාට්‍ය වලට පුදුම පිස්සුවක් තිබුණා. හැබැයි ඒදේ අද මම දකින්නේ නැහැ. ඒ අවුරුදු තුන ඇතුලත ආපු ගොඩක් නාට්‍යය වලට පිස්සුවෙන් වගේ වැළඳගෙන නැහැ. සමහර අයට ටෙලි නාට්‍යය වල නම් මතකත් නැහැ. කතාවවත් මතක නැහැ. එහෙම වෙන්නේ මම හිතන විදිහට නාට්‍ය බොහෝ ප්‍රමාණයක් විකාශය වෙන නිසා වෙන්න පුළුවන්. ඉස්සර අපි නාට්‍යයක් කරන කොට මට කතා කලොත් එහි රංගනයට අපි දන්නවා මේ නාට්‍ය කරන්නේ මේ නාලිකාවට, මේ ටයිම් බෙල්ට් එකට කියන දේ. දැන් ගොඩක් අය කොටස් 15ක් විතර කරනවා ඉස්සෙල්ලා. බලන් ඉන්නවා මොකක් හරි චැනල් එකක බෙල්ට් එකක් හම්බෙනකම්. ඒ වගේ අද ලොකු තරඟකාරීත්වයක් ඇති වෙලා තියෙනවා. මම දායක වුණු එක නාට්‍යයක් පමණයි තවම විකාශ වෙලා නැත්තේ. ඒක පොඩි කොටස් කිහිපයක් ඇති ටෙලි නාට්‍යයක්. මං හිතන්නේ ඒක වෙන්නෙත් නැති වෙයි. මෑත කාලයේදී මට අහන්න ලැබුණේ ගොඩක් වෙලාවට නාට්‍යය ගොඩක් කලා එකක්වත් තවම විකාශය වුණේ නැහැ කියන එකයි. ඔය වගේ දේවල් වලින් තමයි මම ක්ෂේත්‍රය තුළ ලොකු වෙනස් කම් දකින්නේ.

4.මේ තරගකාරීත්වයත් සමගින් බොහෝ නාලිකාවල අප්‍රමාණ නාට්‍යය විකාශය වෙනවා. මේ දේවල් ප්‍රේක්ෂකයන් තෝරා බේරා ගැනීමක් සිදුකළ යුතුයිද?  මම හිතන්නේ තමාගේ රුචිකත්වයට නාට්‍යයක් බලන එක රසිකයාගේ අතේ තියෙන කාරණාවක්. 5.ඔබ ප්‍රේක්ෂිකාවක් විදිහට මේ නිර්මාණ දිහා බැලුවොත්, ඔබේ රුචිකත්වයට ගැලපෙන නිර්මාණ අද විකාශය වෙනවාද? මම හිතනවා එහෙම තියෙනවා කියලා. මම රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා නම් අනිවාර්යෙන්ම මම බලනවා. මම ඒක හරියට ඒක කරලා තියෙනවාද කියලා. මට මේ දවස්වල බැලෙන්නේ ‘හේලි’ ටෙලි නාට්‍යයයි. මම මේ දේ කිව්වොත් මට ගොඩක් අය බනියි. නමුත් මම සිරස නාලිකාවේ ‘මේ ආදරයයි’ ටෙලි නාට්‍යයත් බලනවා. මම දන්නවා විදේශීය ටෙලි නාට්‍යය වලට ගොඩක් අය බනිනවා කියලා. නමුත් මම හරි කැමති එහි තියෙන සංගීතයට සහ ඒ අය කුතුහලය ඇති කරලා තියෙන විදිහට මම කැමතියි. මට හැමදාම බැලෙන්නේ නැහැ. නමුත් වෙලාවක් තිබුණොත් අනිවාර්යෙන්ම බලනවා. 6.‘හේලි’ ගැන කිව්වොත්?  ඇත්තටම මම කලා ක්ෂේත්‍රය තුළ පළවෙනි වතාවට තමයි දුෂ්ඨ චරිතයක් ‘හේලි’ තුළින් කරන්නේ. ඒක විද්‍යා ප්‍රබන්ධ කතාවක්. මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට තමයි ඒ වගේ වැඩක් වෙන්නේ. මම නාට්‍යය බලද්දී සමහර සීන් තියෙනවා හිතාගන්න බෑ ලංකාවෙද රූගත කලේ කියලා. බොහොම මහන්සි වෙලා කරන නිර්මාණයක්. පිටපත් රචක සුසිත රුවන්, අධ්‍යක්ෂක ධනුෂ්ක රත්නායක සහ නිෂ්පාදක ගයාන් පෙරේරා මේ ත්‍රිත්වය අරන් තියෙන උත්සහයට මම ගොඩක් ගරු කරනවා සහ එවැනි නිර්මාණ බිහි වෙන්න ඕනේ. රංගන ශිල්පිනයක් විදිහට මම කැමතියි ‘හේලි’ නාට්‍යයේ ශූටින් යන්න. එම නිෂ්පාදකවරයා යම් යම් පුද්ගලයින් දාලා තියෙනව අපි ගැන සොයා බලන්න. අපේ මුදල් ගෙවීම් ගත්තත් අද ශුටීන් නම් ඉවර වෙලා ලැබෙනවා. එහෙම නැත්නම් පහුවෙනිදා උදේ වෙද්දී ගිණුමට දාලා තියෙනවා. අපි පස්සෙන් යන්න ඕනේ අපේ ගෙවීම් ඉල්ලගෙන. එහි ඒ දේවල් සිටම වටා පිටාව දක්වාම ප්‍රොෆෙෂනල්. ඒක හරි ලේසිය. හොඳ නිර්මාණයක් සහ හොඳ කණ්ඩායමක් එක්ක වැඩකටයුතු කර ගන්න ලැබීම පිළිබඳව ගොඩක් සතුටුයි.

7.එදා වගේ අදත් ලැබෙන රසික ආදරය ලැබෙන එක ගැන මොකද හිතෙන්නේ? මම නම් හිතන්නේ වාසනවා කියලා. මම විදෙස් ගත වෙන කොට ගොඩක් අය කියපු දෙයක් තමයි ‘ මේ පීක් එකේ ඉන්න රට යන්නේ ඇයි& කියලා ගොඩක් අය ඇහැව්වා. ජනප්‍රිත්වය අද තියෙන්න පුළුවන් හෙට නැති වෙන්න පුළුවන්. ඒක තමයි යතාර්ථය. ජනප්‍රියත්වයට වඩා මට අවශ්‍යය වුණේ අධ්‍යාපනය. ඒක දිගු කාලීනව ගත්තාම සදාකාලික දෙයක්. ගොඩක් අය කියනවා අපි දෙන්න හරි වාසනාවන්තයි කියලා. මොකද කාලයක් කලාවේ නැති වෙලා නැවත කලාවට අවතීර්ණ වෙන්න ටිකක් අපහසුයි. මේනකට නම් ආපු මාසෙට පස්සේ ඉඳන්ම එයා වැඩත් පටන් ගත්තා. මම ඉතිං පොඩ්ඩක් තෝරලා බේරලා කරන නිසා තමයි නිර්මාණ 04ක් ප්‍රතික්ෂේප කලා. මම බාර ගත්ත නිර්මාණයක් තමයි ‘හේලි’ කියන්නේ. ඒ රසික ආදරය අදත් ඒවගේම තියෙනවා. මම නිහතමානිව සතුටුවෙනවා සහ ආඩම්බර වෙනවා. 8.බලාපොරොත්තු එක්ක කොහොමද ඉදිරි ජීවිතය ගෙවෙන්නේ? මේ අවුරුද්දේ ලොකුම වැඩකටයුත්ත තමයි මගේ ‘ඩාන්ස් ස්ටූඩියෝ’ එක. ඒක ව්‍යාපාරයක්. ඒකට මමයි මේනකයි ලොකු අවධානයක් යොමු කරනවා. ඊට අමතරව කලා කටයුතු වල නියැලෙනවා. මහලොකුවට බලාපොරොත්තු නැහැ සතුටින් ඉන්න තමයි ලොකුම බලාපොරොත්තුව