October 31, 2020

SinhalaVlog

Just another WordPress site

නිරෝගී දක්ෂ දරුවෙකු ලොවට දයාද කරන මවුකිරි

මවුවරුන් කෙදිනත් තම දරුවන්ට හදවතින්ම ඉතා සමීපයි. නමුත් ශ්‍රී ලාංකේය මවුවරුන් වෙනත් රටවල මවුවරුන්ටත් වඩා දරුවන් සමඟ සබැඳුණු මවුවරුන් බව ඉතිහාසය පවා අපට සාක්ෂි පෙන්වා දෙනවා. පසුගියදා ලොව මවුකිරි ලබාදීමෙන් ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට අපේ රටේ අම්මාවරුන්ට හැකියාව ලැබුණේද මවුකිරෙහි වටිනාකම ඔවුන් මැනවින් පහදාගෙන ඇති නිසාමයි. මවුකිරි යනු මවකට තම දරුවාට ලබාදිය හැකි උතුම්ම දායාදයකි. දරුවකුට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදෙසා මූලාරම්භය ලබාදෙන්නේද මවුකිරි හරහායි. එපමණක් නොව මවගේ තන පුඩුවෙන් කිරි උරා බීම තුළින් දරුවාත් මවත් අතර අනේ‍යාන්‍ය සෙනෙහස තීව්‍ර කිරීමක්ද වනවා. සැබවින්ම දරුවකුට මවුකිරි ලබාදිය යුත්තේ ඇයි ? අපි දැන් විමසා බලමු. කිරි බී වැඩෙන ළදරුවන්ගේ මූලික ආහාරය වන්නේ මවුකිරිය. දරුවාට අවශ්‍ය වන සියලුම පෝෂණ අවශ්‍යතා මාස 6ක් දක්වා සපුරාලීමට මවුකිරිවලට හැකියාව තිබෙනවා. මවුකිරි නිපදවෙන්නේ මවගේ පියයුරු අභ්‍යන්තරයේ ඇති ක්ෂීර ග්‍රන්ථි තුළයි. ලෝකයේ අන් රටවල පිළිගැනීම වූයේ දරුවකුට මාස 3-4ක් පමණ කාලයක් මවුකිරි ලබාදීම ප්‍රමාණවත් බවයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ අපේ මවුවරුන් අතීතයේ සිටම දරුවන්ට මාස 6ක් අනිවාර්යයෙන් මවුකිරි ලබාදෙන අතර ඇතැම් මවුවරුන් මාස 6 පසු වූ පසුද මවුකිරි ලබාදෙනවා. 2004 වර්ෂයේදී දරුවකුට මාස 6ක් දක්වා මවුකිරි ලබාදිය යුතු බව බටහිර වෛද්‍ය විද්‍යාවෙන්ද සනාථ කරනු ලැබුවා. ඒ අනුව වර්තමානය වනවිට ලොව බොහෝ රටවල මවුවරුන් මාස 6ක් දක්වා දරුවන්ට මවුකිරි ලබාදීම පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. මවුකිරි තුළ දරුවාට අවශ්‍ය ජලය, ප්‍රෝටීන, මේදය, ඛනිජ ලවණ, විටමින්, ක්ෂුද්‍රපෝෂක, ප්‍රෝබයෝටික් සහ විවිධ හෝර්මෝන වර්ග අන්තර්ගතයි. මවුකිරි ලබාදීම නිසා මවටත්, දරුවාටත් ප්‍රතිලාභ රැසක්ම ලබාගත හැකියි.

  • මවට ලැබෙන ප්‍රතිලාභ
  • 1.දරුවාත් මවත් අතර සහ සබඳතාව වැඩි වීම.
  • 2.පියයුරු පිළිකා අවදානම අවම වීම.
  • 3.ආතතිය/ විශාදය පාලනය වීම.
  • දරුවාට ලැබෙන ප්‍රතිලාභ
  • 1.දරුවා මව සමඟ දැඩි සබ¼දතාවක් ගොඩනඟා ගැනීම.
  • 2.ලැබිය හැකි ඉහළම පෝෂණය සෞඛ්‍යාරක්ෂිතව ලැබීම.
  • 3.මොළයේ වර්ධනයේ උත්තේජනයට මවුකිරි සහ මවගේ සබඳතාව හේතු වීම.
  • 4.ප්‍රෝබයෝටික් අන්තර්ගතවීම නිසා ආහාර මාර්ගයේ ගැටලු අවම වීම, ස්වභාවික ප්‍රතිශක්තිකරණය වර්ධන වීම.
  • 5.දරුවාට හතිය, ඇදුම, අසාත්මිකතා ඇති වීම පාලනය වීම.

පසුකාලීනව ඇති විය හැකි දද, කුෂ්ඨ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, විශාදය, පිළිකා වැනි තත්ත්වයන් අවම වීම. දරුවකුට මවුකිරි හැරුණු විට ඒ වෙනුවට ආදේශ කිරීමට දෙයක් පෙන්වාදීමට අපහසුය. බොහෝ රටවල මව අහිමි වූ දරුවන්ට හෝ කිරි අඩු මවුවරුන් සඳහා මවුකිරි ප්‍රදානය කිරීම සඳහා කිරි බැංකු පිහිටුවා තිබෙනවා. නමුත් අප රට තුළ එවැනි වැඩපිළිවෙළවල් නොමැති වීම කනගාටුවට කරුණක් බව කිව යුතුයි. අතීතයේදී මවක් අහිමි වූ දරුවකුට කිරි අම්මා කෙනකු හරහා මවුකිරි ලබාදුන්නද ලාභ ලබා ගැනීමේ පටු අරමුණින් අද සමාජයට කිරිපිටි හඳුන්වාදී තිබෙනවා. ශරීරයට අහිතකර තෙල් වර්ග සහ රසායනික සංයෝග මිශ්‍ර කර සාදා ඇති පිටි කිරි කිසිවිටෙකත් දරුවන්ට ලබානොදිය යුතුයි. කිරි පිටි ලබාදීම නිසා අසාත්මිකතා, ඇදුම, හතිය, සමේ දද, කුෂ්ඨ, අධිරුධිර පීඩනය, දියවැඩියාව සහ පිළිකා පවා ඇතිවීමේ අවදානමක් තිබෙනවා. මවුකිරි උරා බීමේදී දරුවා මහන්සි වී එය උරා බීම නිසා දරුවාගේ හකුවල, විදුරුමස්වල සහ ආහාර මාර්ගයේ වර්ධනයට එය උපකාරී වේ. නමුත් සූප්පුවක් මඟින් පිටි කිරි ලබාදීම නිසා දරුවා එය ඉතා පහසුවෙන් පානය කරන අතර පසුව දිගින් දිගටම මහන්සි නොවී කිරි බීමට බලාපොරොත්තු වනවා. එසේම එහි ඇති ඇබ්බැහිකාරක ගුණය නිසා දරුවා ජීවිත කාලයටම එයට යොමු වනවා. එම නිසා දරුවන් කිසිවිටෙක පිටිකිරිවලට යොමු නොකර මවුකිරි පමණක් ලබාදීමට මවුවරුන් බුද්ධිමත් විය යුතුයි.