September 25, 2020

SinhalaVlog

Just another WordPress site

සිරුරේ ඇති වන හිරිවැටීම් ගැන ඔබත් සුළුවෙන් හිතනවද?

මෙම රෝගී තත්ත්වයේ රෝග ලක්ෂණ කිහිපයක්ම හඳුනාගත හැකියි. ඇතැම් අයගේ බෙල්ලේ සිට අතේ ඇඟිලි දක්වාම හිරිවැටීම සිදුවිය හැකි අතර එය සියුම් හෝ තීව්‍ර වේදනාවක් සහිත විය හැකියි. ඒ වගේම එය අත් දෙක දිගට ගමන් කරන වේදනාවක්ද විය හැකියි. ඇඟිලි පමණක් හිරිවැටීම හෝ වේදනාව ඇතිවීම මෙන්ම වැළමිට හිරිවැටීම හෝ වේදනාවක් ඇතිවීමත් මෙම රෝගයේ රෝග ලක්ෂණ අතර වෙනවා. මෙම වේදනාවන් අත් දෙකේම හෝ එක අතක ඇති විය හැකියි. හිරිවැටීම්, වේදනාවන්ට අමතරව මස් දියවීමේ තත්ත්වයක් පවා ඇතිවිය හැකියි. කොඳු ඇට පෙළ හිසේ සිට උකුළ දක්වා වූ ප්‍රදේශය අස්ථි රැහැනකින් එනම් අස්ථි කොටස් 33කින් සමන්විත වෙනවා. එම අස්ථි පවතින ප්‍රදේශ අනුව වර්ගීකරණය කරනු ලබනවා. බෙල්ල ආශ්‍රිතව තිබෙන අස්ථි කොටස් 7ක් ග්‍රැවීය කශේරුකා ලෙසත් පිටකොන්ද ආශ්‍රිත ඉළඇට 12 ආශ්‍රිතව ඇති කොඳු ඇට පෘෂ්ඨීය කශේරුකා ලෙසත් ඉන් පහත අස්ථි කොටස් 5 කටී කශේරුකා ලෙසත් ඉතිරිය ත්‍රීකය, කෝකය ආදී වශයෙන් බෙදී යනවා. බහුල වශයෙන් රෝගීන්ට තිබෙන්නේ ග්‍රැවීය සහ කටී කශේරුකා ආශ්‍රිත රෝගාබාධයි. අත් හිරිවැටීම සිදුවන්නේ බෙල්ල ආශ්‍රිතව ඇති ග්‍රැවීය කශේරුකාවල ඇතිවන රෝගාබාධ නිසාවෙනුයි.

අත්වලට ස්නායු බෙදීම සිදුවන්නේ ග්‍රැවීය කශේරුකා ආශ්‍රිතවයි. කශේරුකා 2ක් අතර අන්තර් කශේරුකා මඩල (Disc) පිහිටා තිබෙනවා. එය අර්ධ ද්‍රවයක් (Half Liquid) සහ කාටිලේජ තරලයකින් වැසී තිබෙනවා. වැරැදි ඉරියව්වලට සිටීම, හදිසි අනතුරුවලින් කොඳු ඇට පෙළට සිදුවන්නා වූ හානි ආදිය මඟින් අන්තර් කශේරුකා මඩලට අධික පීඩනයක් යෙදුණු විට එම පීඩනය නිසා අර්ධ ද්‍රව්‍ය කාටිලේජ තල්ලු කරමින් පිටතට නෙරීම සිදුවෙනවා. එසේ පිටතට නෙරන කාටිලේජ සුෂුම්නාවේ ගෑවෙන විට එම ගෑවෙන ස්නායුවලට අදාළ ප්‍රදේශයේ වේදනාවක්, හිරිවැටීමක්, අප්‍රාණිකත්වයක්, මස් දියවීමේ තත්ත්වයක් ඇති විය හැකියි. මෙම රෝගයට හේතුව ඇත්තේ බෙල්ල ආශ්‍රිතව වුවත් ඇඟිලිවල අතේ කොටසක, අත දිගට ආදී වශයෙන් රෝගයට අදාළ ස්ථානයෙන් පරිභාහිරව රෝග ලක්ෂණ ඇතිවීමයි මෙහි තිබෙන විශේෂත්වය වන්නේ. එම නිසා ප්‍රතිකාර කළ යුතු ආකාරය වෙනස්. වේදනාව ඇති වන්නේ අතෙහි වුවත් බෙල්ල ආශ්‍රිත ප්‍රදේශයටයි ප්‍රතිකාර කළ යුත්තේ. මෙවැනි රෝගී තත්ත්වයක් ඇතිව තිබෙනවා නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී MRI පරීක්ෂණයක් හෝ X කිරණ පරීක්ෂණයක් කර රෝගය හඳුනාගැනීමේ හැකියාව තිබෙනවා.

මෙම රෝගී තත්ත්වය ඇතිවීම වළක්වා ගැනීම සඳහාත් ඇති වී තිබෙන රෝගාබාධය වැඩි වර්ධනය වීම වැළැක්වීම සඳහාත් පහත උපක්‍රම භාවිත කළ හැකියි. පරිගණකය පරිහරණය කරන විට ඇස් මට්ටමට පරිගණක තිරය තබා ගැනීම, ශරීරය නිවැරැදි ඉරියව්වල පමණක් පවත්වා ගැනීමට උත්සාහ කිරීම, අනවශ්‍ය ලෙස බෙල්ල එසවෙන පරිදි කොට්ටය තබා නිදා නොගැනීම, විශේෂයෙන් සවස් භාගයේදී සීතල වතුර පරිහරණයෙන් වැළැකීම, යතුරුපැදි, පාපැදි, ත්‍රිරෝද රථ ආදියෙහි ගමන් කිරීමේදී ගෙල ප්‍රදේශය ගැස්සීම පාලනය කර ගැනීම ආදිය ඒ අතර වෙනවා. ඔබටත් මෙම රෝගී තත්ත්වය ඇති වී තිබෙනවා නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුවී අදාළ ප්‍රතිකාරවලට යොමුවීම ඉතා වැදගත්.