August 8, 2020

SinhalaVlog

Just another WordPress site

ඔස්ටියෝපොරෝසිස් නිසා අස්ථි වල ඇතිවන ගැටලු

පසුගිය සති කිහිපයේදී අස්ථි හා සම්බන්ධ රෝගාබාධ කිහිපයක් පිළිබඳව අප ඔබ දැනුවත් කළා. අද අප ඔබට පැහැදිලි කරන්නේ අස්ථි සම්බන්ධ තවත් රෝගී තත්ත්වයක් වන ඔස්ටියෝපොරෝසිස් (Osteoporosis) රෝගීි තත්ත්වය පිළිබඳවයි. අස්ථි කියන්නේ ශරීරයේ ඉතාම වැදගත් අවයව කොටසක්. අස්ථිපංජරය නැතිනම් ඇට සැකිල්ල නිසා ඉතා වැදගත් කාර්යයන් කිහිපයක්ම සිදුවෙනවා. ශරීරයට විශේෂ හැඩයක් ලබාදීම, ශරීරයේ අභ්‍යන්තර විශේෂිත ඉන්ද්‍රියන් සඳහා ආරක්ෂාව ලබාදීම, ඇටමිදුලු තුළ රුධිරාණු නිෂ්පාදනය කිරීම, ශරීරය එහා මෙහා ගෙනයෑම, චලනය කිරීම, ශරීරයේ නම්‍යශීලිත්වය මෙන්ම සෘජුව තබා ගැනීමට උපකාරී වීම ආදී කාර්යයන් ඒ අතර වෙනවා. මෙතරම් කාර්යයන් ප්‍රමාණයක් ඉටුකරන අස්ථි ආශි්‍රතව රෝග කිහිපයක් ඇති විය හැකියි. අස්ථියේ ඝනත්වය අඩුවීම, අස්ථි දෙකක් හෝ කිහිපයක් එකතුවීමෙන් සෑදෙන සන්ධි ඝනත්වයේ ඇතිවන සංකූලතා, අස්ථිය කැඩීම, පිපිරීම, ඇඹරීම ආදියෙන් ඇතිවන්නා වූ හානි ඒ අතර වෙනවා. අස්ථිවල ඝනත්වය අඩුවීමේ තත්ත්වයයි අප ඔස්ටියෝපොරෝසිස් ලෙස හඳුන්වන්නේ. අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් අස්ථිවලට අවශෝෂණය කර නොගැනීම මඟින් අස්ථිවල ශක්ති ප්‍රමාණය හීන වීම ඔස්ටියෝපොරෝසිස් ඇතිවීමට මූලිකම හේතුවක්. වයස අවුරුදු 40 – 45 පසු වන විට කාන්තාවන්ගේ ආර්තවහරණය සිදුවනවා. ආර්තවහරණයත් සමඟ ඊස්ට්‍රජන් අවප්‍රමාණය වීම නිසා හෝර්මෝන අසමතුලිත බවක් ඇති වනවා. හෝර්මෝන අසමතුලිත බව නිසා අස්ථිවලට කැල්සියම් අවශෝෂණය කර ගැනීම අඩු වෙනවා.

එම නිසා අස්ථි ප්‍රාවරයේ දුර්වලතා ඇති විය හැකියි. කල්ගතවීමේදී මේ තත්ත්වය සන්ධිගත වාත තත්ත්වයක් දක්වා වර්ධනය වන්නට පුළුවන්. අස්ථි හා බැඳුණු කාටිලේජ ගැලවී යෑම නිසා දණහිස් ආශි්‍රතව ඇතිවන ආබාධ සඳහාද මෙම තත්ත්වය හේතු විය හැකියි. ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාතික රටවල මෑත දශකය හෝ 1 1/2ක කාලය තුළ වර්ධනය වූ මෙම රෝගය ඉන්දියාවේ සෑම කාන්තාවන් තුන් දෙනකුගෙන් එක් අයකුටද, ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් පස් දෙනකුගෙන් එක් අයකුටද වැලඳී ඇති බව වාර්තාවලට අනුව පෙනී යනවා. මේ සඳහා ප්‍රතිකර්ම ලෙස කැල්සියම් අධික ආහාර (හාල්මැස්සන්, කතුරුමුරුංගා කොළ ආදිය) ආහාරයට ගැනීම කළ හැකියි. තල ඇට ඒ සඳහා බෙහෙවින් යෝග්‍ය වුවත් කොලෙස්ටරෝල් අධික අය තල භාවිතයේදී සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ව්‍යායාමයේ යෙදීම, දහදිය පිටවීමට සැලැස්වීම, තෙල් අධික, උෂ්ණාධික ආහාර ආදියෙන් වැළකී සිටීම වගේම ආහාර ගැනීමේදී හොඳින් අනා හොඳින් සපා ඒවා ආහාරයට ගැනීමත් සිදු කළ යුතුයි. රාත්‍රියට අඩුවෙන් ආහාර ලබා ගැනීමත් ආහාරය සියලු පෝෂ්‍ය පදාර්ථ සහිතව ලබා ගැනීමත් කළ යුතුයි. ඒ වගේම තමන්ට ඇති අනෙකුත් රෝගාබාධවලටත් අදාළව වෛද්‍ය උපදෙස් මත ආහාර සහ ව්‍යායාම කිරීමේ පිළිවෙළ වෙනස් කරගත යුතු වෙනවා. DEXA ස්කෑන් පරීක්ෂණයක් මඟින් ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය වැලඳී ඇති දැයි සනාථ කරගත හැකියි. මේ සඳහා ඔබ සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමු විය යුතුය. දේශීය වෙදකම හා ආයුර්වේදය තුළද මේ සඳහා ප්‍රතිකාර තිබෙනවා.